පානදුර නගරයේ රන්කොත් විහාරස්ථාන විහාරස්ථාන භූමියේදී පෙරේදා (10) තම අනියම් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කොට ඇගේ දියණියට ද තුවාල සිදු කල අනියම් සැමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පී.එල්. පියතිස්ස නමැති පනස් අට හැවිරිදි අයෙකි.
ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර කෙසෙල්වත්ත පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.
ඇයගේ පළමු විවාහයේ 21 හැවිරිදි දියණිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුලත් කොට ඇත.
ඝාතනයට ලක් වූ කාන්තාව මීට වසර 15කට පමණ පෙර සිය නීත්‍යනුකූල ස්වාමිපුරුෂයාගෙන් වෙන් වී ඝාතනය සිදුකල අනියම් සැමියා සමග ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇත.
මීට මාස පහකට පමණ ඉහත සිට ඔහු සමගද අමනාප වී ඇගේ සොයුරියගේ නිවසේ දියණිය සමග වාසය කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පෙරේදා (10* තමන් පදිංචිව සිටින නිවසේ ඔප්පුව ලබා දීමට යයි පවසමින් පානදුර නගරයට පැමිණෙන ලෙස අනියම් සැමියා ඝාතනයට ලක් වූ කාන්තාවට දැනුම් දී ඇති අතර ඇය සිය දියණියද සමග පැමිණ ඇත.
පානදුර නගරයේ ඔරලෝසු කනුව අසල හෝටලයකින් දිවා අහාරයද ගෙන ඇති මොවුන් තිදෙනා අනතුරුව අසල පිහිටි විහාරස්ථානයට ගොස් ඇත.
එහිදී කල පිහි ඇනුමෙන් අනියම් බිරිඳ මිය ගොස් ඇති අතර එය වැලක්වීමට උත්සහා ගත් දියණිය තුවාල ලබා ඇත.
මිය ගිය කාන්තාවගේ හිස,පපුව ඇතුළු සිරුරේ ප්‍රාදේශ කිහිපයකටම පිහි ඇනුම් පහර එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව අනියම් සැමියා එම සිද්ධිය වූ ස්ථානයටම නුදුරේම විහාරස්ථානයේ ගල් බැම්මක් උඩට වී සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ඇත.
(ජීවන්ත ආරියදාස/ සිරි මහබෙල්ලන/ රූ.පී. සුසෙවුහේවා-පානදුර අධිකරණ)
No comments:
Post a Comment