ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

කුරුණෑගල රෝහලෙන් දුර්ලභ දරු ප්‍රසූතියක්.....

කුරුණෑගල රෝහලේ තවත් විශ්මිත දරු උපතක් පසුගිය 27 වැනිදා සිදුවී ඇති බව අපට වාර්තා වුණා. ඒ ගර්භාෂයෙන් පිටත පිළිසිඳගත් දරුවෙකු සාර්ථකව මෙලොවට බිහිකර ගැනීම සඳහා සිදුකළ සිසේරියන් සැත්කමක් පිළිබඳවයි. මෙය ඉතාම කලාතුරකින් ලොව සිදුවන්නක් නිසාත්, ඇතැම්විට එවැන්නක් මෙරටින් වාර්තා වූ පළමුවැන්නත් විය හැකි නිසාත්, අපි ඒ පිළිබඳ තතු සොයා පසුගියදා එම සැත්කම සිදුවූ කුරුණෑගල රෝහලේ 59 වැනි වාට්ටුව වෙත ගොස් අදාළ සැත්කමට දායක වූ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය එස්.බී. ඒකනායක මහතාවත්, එම දුර්ලභ දරුගැබ දරාසිටි මවවත්, සනීප සුවයෙන් පසුවූ දරු පැටියාවත් හමුවුණා. මේ එම දුර්ලභ දරු උපත පිළිබඳ වෛද්‍යවරයා අප සමග පැවසූ තතුය.

  • මෙම සැත්කම පිළිබඳ තොරතුරු සඳහන් කළොත්?

මේ සැත්කම සඳහා මුහුණ දුන් මවගේ පළමු දරු ප්‍රසූතිය සඳහායි රෝහලට ඇතුළු වුණේ. ඒ දරුවා තට්ටමෙන් ඒ කියන්නෙ නිතඹ ප්‍රසවයක් සිදුකිරීමේ තත්ත්වයක තමයි හිටියේ. මෙවැනි තත්ත්වයකදී සිසේරියන් සැත්කමකින් තමයි දරු ප්‍රසූතිය සිදුකරන්නෙ. 
ඉතින් මේ අම්මටත්, දරුවාගේ පිහිටීමේ ප්‍රශ්නයක් තියෙන නිසා සාමාන්‍ය ප්‍රසූතියකට තිබෙන දින ගණනට සති දෙකක් කලින් සිසේරියන් සැත්කම සඳහා රෝහලට ඇතුළුවන ලෙස අපි උපදෙස් ලබා දී තිබුණා. මෙම සැත්කම සිදුකරන්න
 පැවරුණේ මෙම රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ප්‍රගීත්ටයි. ඔහු සවස 3.00 ට පමණ මේ සැත්කම සඳහා මේ මවව ශල්‍යාගාරයට රැගෙන තිබුණා. නමුත් කැපුම සිදුකරන්න යන අවස්ථාවේ මෙහි යම් ගැටලුවක් තිබෙන බව හැඟී ගොස් තිබූ නිසා ඔහු මාව කැඳවනු ලැබුවා. මම හිතුවේ මේ මවට ගර්භාෂ දෙකක් පිහිටි තත්ත්වයක් පවතින බවයි. පසුව කැපුම කළ පසු මට තේරුණා දරු ගැබ පිහිටා තිබෙන්නේ ගර්භාෂයේ නොවන බව. ඉතින් මෙවැනි අවස්ථාවකදී ඉතා ඉක්මනින් කටයුතු කළ යුතුයි.
මම නිර්වින්දන වෛද්‍යවරයාව හා තවත් හෙදියන් කිහිපදෙනෙකුවත් කැඳවලා ලේ බැංකුවේ සහායත් අරගෙන මෙම සැත්කම ඉතා ඉක්මනින් සිදුකළා. දරුවාව ඉවතට අරගෙන වැදෑමහ සෛල 90෴ ක්ම ඉවත් කරලා නැවත මැහුම් දැමුවා. මේ අම්මාගේ වාසනාවට දරු ගැබ වෙනත් අවයවවල ගැටලුකාරී ලෙස ඇලී තිබුණේ නැහැ. බඩවැල්වලට ඇලී තිබුණා නම් බඩවැල් ඉවත් කරන්න සිදුවෙනවා වගේම අභ්‍යන්තර ලේ ගැලීම් වළක්වා ගන්න අපහසු වෙලා යම් අනතුරක් වෙන්නත් ඉඩ තිබුණා. ඒ වගේම මෙම දරු පිළිසිඳීම කල් තියා දැන ගත්තානම් මවට සිදු විය හැකි ජීවිත අවදානම නිසා දරු ගැබ ඉවත්කිරීමට පියවර ගැනීමටත් ඉඩ තිබුණා.
මෙම තත්ත්වය අපි හඳුන්වන්නේ Abdominal Pregnancy යනුවෙන්. ඒ වගේම අපිට තවත් මෙවැනි තත්ත්වයක් වාර්තා වෙනවා. එය ectopic Pregnancy ලෙස හඳුන්වනවා. ectopic Pregnancy හිදී සිදුවන්නේ ගර්භාෂයෙන් පිටත ගැබක් පිහිටීම. උදාහරණ ලෙස පැලෝපීය නාළය තුළ ඩිම්භකෝෂ තුළ සිදුවන කලලයක් වැඩීම හඳුන්වන්න පුළුවන්.
නමුත් පැලෝපීය නාළය තුළ දරු ගැබක් වර්ධනය වීමට ඉඩ නොමැති නිසා එම කලලය ඉවත් කිරීමට සිදුවෙනවා. නමුත් abdominal pregnancy තුළදී සිදුවන්නේ ගර්භාෂයෙන් පිටත දරු ගැබක් පිහිටා එම දරු ගැබට කිසිදු හානියක් සිදුනොවී උපත දක්වා වර්ධනය වීමයි. ectopic Pregnancy කියන තත්ත්වය ඉතා සුලභ වූවත් Abdominal Pregnancy තත්ත්වය ඉතා දුර්ලබයි. ectopic Pregnancy අපිට දාහට එකක් ලෙස වාර්තා වෙනවා.
මේ රෝහලෙත් සතියට 3 ක්වත් අපිට වාර්තා වෙනවා. පළමු මාස තුන තුළ තද බඩේ කැක්කුමක් සමග මවක් ආවොත් Scan පරීක්ෂණයක් සිදුකර එය ectopic තත්ත්වයක් නම් අපි එම කලලය ඉවත් කරනවා.
අපි මේ දරු ගැබ ගැන බැලුවොත් එම ගැබ පිහිටලා තිබුණේ ආමාශ කුහරයේ පහළ කොටසෙයි. මෙම කොටස අපි Pouch Of Douglas ලෙස හඳුන්වනවා. මෙය ගර්භාෂයට පිටුපසින් ආමාශයට පහළින් පිහිටලා තියෙනවා.
 

  • මෙවැනි දරුගැබක පිහිටීම කලින් දැනගැනීමේ හැකියාවක් නොමැතිද?

පුළුවන්. දරු ගැබට සති 12 ක් වෙන්නට ප්‍රථමයෙන් ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලුවා නම් ගර්භාෂය වෙනමයි, දරු ගැබ පිහිටීමයි හඳුනාගන්න තිබුණා. නමුත් අපි සාමාන්‍ය‘යෙන් ගර්භිණී මවකගේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකරන්නේ සති 16 න්. එය ලංකාවේ සිදුකරන ක්‍රමයයි. පළමු මාස තුනේදී අපේ රටේ සිදුවන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගෙන් ෆෝලික් අම්ලය ලබාගැනීමයි. සති 16 දී තමයි ස්කෑන් පරීක්ෂණයකට ලක්කරන්නේ. එවිට දරුවා හොඳින් වැඩී තිබෙනවා. එවැනි අවස්ථාවක මෙවැනි පිහිටීමක් හඳුනා ගැනීම අපහසුයි.
  • මෙවැනි දරු පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකි ආකාරය සඳහන් කළොත්?

ක්‍රම දෙකකින් සිදුවිය හැකියි. එනම් ස්ත්‍රියකගේ ඩිම්බ මෝචනයේදී ඩිම්බයක් උදර කුහරයටයි නිකුත් වන්නෙ. උදර කුහරයට නිකුත්වෙන ඩිම්බය, පැලෝපීය නාළය සිදුකරන රසායන වර්ථ චලනයක් හරහා පැලෝපීය නාළයට යොමුකරගන්නවා. සමහර වෙලාවට පැලෝපීය නාළයට මෙම ඩිම්බය තමා වෙත යොමුකරගන්න නොහැකි වූ විට ඩිම්බය ආමාශ කුහරය තුළදීම ශුක්‍රාණුවක් සමග එකතු වුවහොත් සංසේචනයක් සිදුවී එම ස්ථානයේම වර්ධනය වීම සිදුවිය හැකියි.
ඒ වගේම පැලෝපීය නාළය තුළට යොමුකරගත් ඩිම්බයක් එය තුළදීම ශුක්‍රාණුවක් සමග සංසේචනය වී සංසේචිත ඩිම්බය පැලෝපීය නාළය හරහා ගර්භාෂයට සාමාන්‍ය පරිදි නොගොස් ආමාශ කුහරය වෙත ගමන් කරන්නට හැකියාවක් තියෙනවා. නමුත් මෙම සංසේචනය නම් උදර කුහරය ඇතුළේ සිදුවන්නට ඇති බවයි මම විශ්වාස කරන්නේ.

  • මෙවැනි දරු ගැබක් සාමාන්‍ය පරිදි වර්ධනය වීමට හැකියාවක් පවතිනවාද?

පැලෝපීය නාළය ඇතුළත ගැබක් වර්ධනය වුණොත් නාළය පුපුරනවා. නමුත් ආමාශ කුහරයේ වර්ධනය වුණොත් එම හැකියාව ලැබෙනවා. ඩ්ම්බයක් සංසේචනය වී හැදෙන කලල සෛල හරියට පිළිකා සෛල වගෙයි. එම සෛලවලට පුළුවන් ඕනෑම තැනකින් රුධිර සැපයුමක් ලබාගන්න. ආහාර ගන්න. කලලයක් කියන්නෙත් අම්මා කෙනෙකුගේ ශරීරයේ වැඩෙන පරපෝෂිතයෙක්. 
කලල සෛලවලට විශේෂ හැකියාවක් තියෙනවා ඕනෑම තැනකින් රුධිරය සපයා ගන්න. ඒ නිසයි මේ සංසේචිත කලලය මේ තරම් හොඳින් ආමාශ කුහරය තුළ වැඩුණේ. ඩිම්බයක් හා කලලයක් එක්වූ විට කොටස් දෙකක් හැදෙනවා. එක් සෛල කොටසකින් දරුවාගේ අවයවත් අනෙක් සෛල කොටසින් වැදෑමහ හා කලලය හැදෙන පටකත් වර්ධනය වනවා. වැදෑමහේ සෛලවලට තමයි මෙම විශේෂ හැකියාව පිහිටන්නේ.

  • වැදෑමහ සෛල ඕනෑම තැනකින් රුධිරය සපයා ගන්නවා නම් මෙවැනි ගැබක් පිහිටි විට අනෙකුත් අවයවවලට තර්ජනයක් සිදුවන්නේ නැද්ද?

පැහැදිලිවම සිදුවිය හැකියි. Abdominal Pregnancy වල තියෙන භයානක තත්ත්වයත් එයම තමයි. මෙම සෛල ගිහින් මුත්‍රාශයේ ඇලෙන්න හැකියාවක් පවතිනවා. ඒ වගේම බඩවැල් නැත්නම් අතුණුබහන්වලට හානි කරන්න පුළුවන්. ඒ වගේම ආමාශ කුහරයේ තිබෙනවා මේද තට්ටුවක් එහි ඇලෙන්න හැකියාවක් පවතිනවා.
මේ දරු උපතේ වුණ විශේෂත්වය තමයි දරුවාගෙයි මවගෙයි වාසනාවට වගේ එවැනි තත්ත්වයකට ලක්වී තිබුණේ නැහැ. මේ දරු ගැබ හරියට මිනිසුන් සංචාරය කරන තාප බැලුනයක් වගේ ආමාශ කුහරයේ පැසක් සදාගෙන තිබුණා.
මෙම දරු ගැබ පිටකොන්දේවත් ඇලිලා තිබුණෙ නැහැ. මේ තත්ත්වය කලින් දැනගෙන සිටියා නම් අපි කරන්නේ දරුවාව ඉවතට අරගෙන වැදෑමහ තුළට පිළිකා සෛල මැරීම සඳහා ලබාදෙන එන්නතක් විඳින එක. එවිට වැදෑමහ සෛල විනාශ වී යනවා. එලෙස තමයි අපට ඉගැන්වීම්වලදී කියලා දීලා තියෙන්නේ. නැත්නම් වැදෑමහ ඉවත් කරන්න ගිහින් රුධිර සැපයුම ලබාගත් අවයවවලට අනතුරක් සිදුවී අම්මාගේ ජීවිතයට හානියක් විය හැකියි.
මෙලෙස වැදෑමහ කොටස් ඉතුරු කිරීම තුළින් විෂබීජ ආසාදන සිදුවිය හැකියි. ඒ වගේම සෙප්ට්‍රීසීමියා වැනි තත්ත්ව මවට ඇතිවිය හැකියි. ඒ නිසා අපි මේ මවව නැවත පරීක්ෂණයට ලක්කර එවැනි අවදානමක් තිබෙනවාද පරීක්ෂා කර බලනවා.

  • පළමු දරු උපත මෙලෙස ගර්භාෂයෙන් පිටත සිදුවීම නිසා නැවතත් එවැනිම තත්ත්වයකට ඇයට මුහුණදීමට සිදුවේවිද?

ඇත්තටම මේ මවගේ දරු ගැබ ඇගේ එක් පසක ඩිම්බකෝෂයක හා පැලෝපීය නාළයක ඇලී තිබුණා. ඒ නිසා අපිට ඒ පැත්ත ඉවත් කිරීමට සිදුවුණා. දැන් ඇයට දකුණු පස ඩිම්බකෝෂය හා පැලෝපීය නාළය පමණයි ඉතිරි වී ඇත්තේ. මෙය කලාතුරකින් සිදුවී ඇති දෙයක් නිසා ඇයට මීළඟ දරු ගැබ සාමාන්‍ය පරිදි සිදුවිය හැකියි.
  • මෙය මෙවැනි තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාවද?

අපේ රටේ නොවුණත් 2007 වර්ෂයේ නයිජීරියාවේ මෙවැනි දරු උපත් සිදුවී තිබෙනවා. නමුත් මගේ සේවා කාලය තුළ මෙවැනි තත්ත්වයක් අත්දුටු පළමු අවස්ථාව මෙයයි.
  • මෙවැනි තත්ත්ව ඇතිවීමට බලපාන හේතුවක් තිබෙනවාද?

සාමාන්‍ය‘යෙන් ectopic Pregnancy එකක්වීමට බලපාන හේතු ලෙස දුප්පත්කම වැඩි වීම නිසා මවුවරුන්ට ඇතිවන ඇනීමියා හා ප්‍රෝටීන් ඌණතා හේතු විය හැකියි. මේ තත්ත්වය ආසියාතික රටවල බහුලව දැකගත හැකියි. 
  • මෙම සැත්කම සාර්ථක කරගැනීමට දායක වූ රෝහල් කාර්යමණ්ඩලය ගැන සඳහන් කළොත්?

මෙය කිලෝ 2.5 ක බරකින් යුතු නීරෝගී දරු උපතක්. මවගේ ජීවිතයට හානියක් නොවන ලෙස එය සිදුකිරීම බැරෑරුම් කාර්යයක්. මේ සඳහා කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික ප්‍රසව හා නාරි වෛද්‍ය ප්‍රගීත්, වෛද්‍ය සසංකා, නිර්වින්දන වෛද්‍යවරිය වන යජී වයි. තෙන්නකෝන් හා හෙද කාර්යමණ්ඩලයත්, රුධිර බැංකුවේ නිලධාරිනුත් හොඳ සහයෝගයක් ලබාදුන්නා.

මට හිතෙන්නේ දෙවියෝ තමයි මාවයි පුතාවයි බේරාගත්තේ
අවදානම් සහිත දරුගැබක් දසමාසයක් පුරා දරාගෙන පූරුවේ කළ පිනක් නිසාවෙන් තම ජීවිතයත් තම ජීවිතය හා තම කුලුඳුල් පුත්‍ර රත්නයක් ලැබීමට වාසනාවන්ත වූ එම දුර්ලභ අවස්ථාවට මුහුණ දුන් 31  හැවිරිදි බී.එම්.පී.කේ. නවරත්න මහත්මිය සොයා අපි කුරුණෑගල දොඹගොල්ල ප්‍ර‘දේශයේ පිහිටි ඇගේ නිවස සොයා ගියෙමු. එහිදී පුෂ්පා කුමාරි අප සමග මෙලෙස අදහස් දැක්වූවාය.
මම ගැබිනියක වූ පසු මගේ සැමියාත් සමග සායනවලට සහභාගී වුණා. නමුත් මෙහෙම තත්ත්වයක් බව මට කලින් දැන්වූයේ නැහැ. මට ගර්භණී කාලයේ කන්න බැරි වුණා වගේම දිගටම වමනය ඇතිවුණා. ඒවාට ඒකනායක ඩොක්ටර් බෙහෙත් ලබාදුන්නා. ඊට පස්සේ මට කන්න පිරියක් ලැබුණා. මගේ සැමියා දරුවා ලැබෙන්න මාස 5 ක් විතර තියෙද්දී රැකියාව සඳහා විදේශ ගතවුණා.
එයින් පසුව මට ටිකක් අමාරු වුණා. මුත්‍රා යන්නේ නැති අපහසුතාවක් තිබුණා. එයට මුත්‍රා බටයක් දැම්මා. එම බටයෙන් විෂබීජ ගිහින් අමාරු වුණා. නමුත් ඒවටත් බෙහෙත් කරලා මම හොඳ තත්ත්වයේ හිටියා. මම ව්‍යාපෘති සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරනවා. ඉතින් මම හොඳින් වැඩට ගියා. 
මගේ දරු ගැබ හොඳින් වැඩෙන බවත්, සායනවලදී ඩොක්ටර් කිව්වා. ඒ වගේම හැම මාසෙකම මගේ බරත් වැඩිවුණා. මාස 7 න් පසු ස්කෑන් කළාමත් කිව්වා දරුවා හොඳින් ඉන්නවා කියලා. මාස 8 සම්පූර්ණ වුණාම කරපු ස්කෑන් එකෙන් පසුව කිව්වා දරුවා හැරිලා නැහැ කියලා. දරුවා තට්ටම් වලින් ඉන්න නිසා සීසර් කරන්න ඕන කියලා කලින් එන්න කිව්වා. මට දරුවා ලැබෙන්න දින තිබුණේ 09/09 නමුත් මට සති දෙකක් කලින් එන්න කිව්ව නිසා ගියා.
ඒ නිසා 27 වැනිදා ගිහින් රෝහලේ නතර වුණා. එදාම සීසර් කරන්න ගන්නවා කියලා ඩොක්ටර් කිව්වා. හවස 3.30 ට විතර සීසර් කරන්න ගත්තා. සීසර් කරන්න ප්‍රගීත් ඩොක්ටර් පටන් ගත්තට පස්සේ තවත් අය එහා මෙහා යනවා දැක්කා. එවිට මම හිතුවෙ නැහැ මේ වගේ දෙයක් කියලා. මාව හිරිවට්ටලා තිබුණේ. ඒ නිසා මට ඇහුණා ඩොක්ටර්ස්ලා කියනවා මමයි දරුවායි වාසනාවන්තයි කියනවා. දැන් නම් මට හිතෙන්නේ දෙවියෝ තමයි මාව බේරාගත්තේ කියලා. 
මම හැමදාම පිරිත් අහනවා. මගේ අම්මවයි, තාත්තවයි රැකබලාගන්නෙත් මම. ඉතින් මම දහමට ළැදි නිසා මාවයි දරුවයි දෙවියෝ බේරලා දුන්නා කියලයි මම හිතන්නේ. පුතාට නුවංග තානුජ කියලා නම දාන්නයි මම හිතන් ඉන්නේ.



No comments:

Post a Comment